ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් වාර්තා වන අතිශය සංවේදී මෙන්ම කම්පනයට පත් කරන පුවතක් හේතුවෙන් මේ වන විට ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. කොල්කටා නුවරට නුදුරින් පිහිටි බරුයිපූර් (Baruipur) හි 12 හැවිරිදි දැරියක් දූෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීම මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වයට හේතුවයි.
ජාත්‍යන්තර 'Sky News' පුවත් සේවය මුලින්ම වාර්තා කර තිබූ ආකාරයට, පසුගිය ඉරිදා දිනයේදී මෙම දැරියගේ විකෘති වූ මළ සිරුර ප්‍රදේශයේ පොකුණක තිබී සොයාගෙන ඇත.
යුක්තිය ඉල්ලා පාරට බැස්ස ජනතාව
මෙම අපරාධය ප්‍රදේශයේ බලවතුන් පිරිසක් විසින් සිදු කර ඇති බවට දැරියගේ දෙමාපියන් දැඩි ලෙස චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගත් බවයි. යුක්තිය ඉල්ලා දැරියගේ දේහය තබාගෙන ඔවුන් ආරම්භ කළ විරෝධතාවය මේ වන විට දැවැන්ත ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.
දැඩි ලෙස කෝපයට පත් වූ ප්‍රදේශවාසීන් පොලිස් රථවාහනවලට පහර දෙමින්, මාර්ග සහ දුම්රිය ගමන් අවහිර කරමින් විරෝධතා පවත්වනවා. මේ අතරතුර, කෝපයට පත් පිරිසක් විසින් 26 හැවිරිදි තරුණයෙකුට පහර දී ඝාතනය කර ඇති අතර, බලධාරීන් පසුව අනාවරණය කළේ අවාසනාවන්ත ලෙස ඔහු මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයෙකු බවයි.
ප්‍රධාන සැකකරුට පොලිසියෙන් වෙඩි
මෙම සිදුවීමට අදාළව ළමා අපයෝජන, දූෂණය සහ ඝාතනය යන චෝදනා යටතේ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. එහි ප්‍රධාන සැකකරු වන්නේ දැරිය සමඟ අවසන් වරට සිටි බව කියන 'ප්‍රභාස් මොන්ඩාල්' නමැත්තායි.
පසුගිය බ්‍රහස්පතින්දා අලුයම පොලිසිය ඔහුව අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ පරීක්ෂණ කටයුතු සඳහායි. එහිදී එක්වරම ක්‍රියාත්මක වූ සැකකරු, පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන ඔවුන් දෙසට වෙඩි තබමින් පලා යාමට උත්සාහ කර තිබෙනවා. එහිදී පොලිසිය පෙරළා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ සැකකරු, බරුයිපූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි වාර්තා වන්නේ.
දේශපාලන සහ ආගමික අර්බුදයක පෙරනිමිති
කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් මෑතකදී බලයට පත් වූ නව භාරතීය ජනතා පක්ෂ (BJP) ආණ්ඩුවට මෙය දැඩි අභියෝගයක් වී තිබෙනවා. කාන්තාවන්ට නිසි ආරක්ෂාවක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවට විපක්ෂය මේ වන විටත් දැඩි චෝදනා එල්ල කරමින් සිටිනවා.
අනෙක් අතට, ඝාතනයට ලක්වූ දැරිය මුස්ලිම් ජාතිකයෙකු වීමත්, අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හින්දු ජාතිකයන් වීමත් නිසා මෙම සිදුවීම ආගමික ගැටුමක් දක්වා දුරදිග යාමේ දැඩි අවදානමක් පවතින බව විචාරකයන් මත පළ කරනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ මහජන රැස්වීම් තහනම් කර, දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ සිදුවීම ගැන ඔබ මොකද හිතන්නේ? පහළින් ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න.
IndiaNews WorldNewsSinhala

