News Sri Lanka - අනුරාධපුර
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝකාලීන පානීය ජල ගැටලුවට තිරසාර විසඳුම් ලබාදෙමින්, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය අද (ජූලි 10) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
මීට සමගාමීව අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද අද දින ජනාධිපතිතුමාගේ සුරතින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත වේ
අංගමුව ජලාශය මූලාශ්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය සැපයීම සහතික කෙරේ.
- ප්‍රතිලාභ ලබන ප්‍රදේශ: සමස්ත තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙන්ම තලාව සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොටස්.
- ආවරණය: ග්‍රාම නිලධාරී වසම් 42ක්.
- ප්‍රතිලාභී ජනගහනය: පුද්ගලයින් 91,810ක්.
- නව ජල සබඳතා: පවුල් දහස් ගණනකට විශ්වාසදායක සහ උසස් තත්ත්වයේ පානීය ජලය ලබාදීම සඳහා නව ජල සබඳතා 25,000ක් පිරිනැමේ.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර ඇරඹේ
කැබිතිගොල්ලෑව ජල සම්පාදන සංකීර්ණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වේ.
මෙමඟින් රජරට ජනතාව මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවකට ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- ආවරණය වන ප්‍රදේශ: පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
- ආවරණය: ග්‍රාම නිලධාරී වසම් 119ක්.
- ඉලක්කගත ප්‍රතිලාභීන්: 2034 වසර වන විට පුද්ගලයින් 170,951 කට ආරක්ෂිත පානීය ජලය සැපයීමට සැලසුම් කර ඇත.
- නව ජල සබඳතා: ව්‍යාපෘතිය යටතේ නව ගෘහස්ථ ජල සබඳතා 50,000ක් ලබා දීමට නියමිතය.
වකුගඩු රෝගය මර්දනයට සුවිශේෂී දායකත්වයක්
මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණක් වන්නේ ප්‍රදේශයේ භූගත ජලයේ පවතින අධික ෆ්ලෝරයිඩ් (Fluoride) ප්‍රතිශතය හේතුවෙන් ජනතාව මුහුණ දෙන නිදන්ගත වකුගඩු රෝගය (CKD) ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලු අවම කිරීමයි.
ශ්‍රී ලංකා - ජපන් (JICA) ඒකාබද්ධ ජාතික ව්‍යාපෘතියක්
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA - Japan International Cooperation Agency) ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන, ජාතික වශයෙන් අතිශය වැදගත් සංවර්ධන මුලපිරීමකි.

