ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, කටාර් රාජකීය පවුල විසින් එරට ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලද නවීන පන්නයේ 'එයාර් ෆෝස් වන්' (Air Force One) ගුවන් යානයෙන් සිය මංගල ගුවන් ගමන සිදුකර තිබේ.
උතුරු ඩැකෝටා හි සංචාරයක නිරත වී ආපසු පැමිණීමෙන් අනතුරුව, ජොයින්ට් බේස් ඇන්ඩෲස් ගුවන් කඳවුරේදී මෙම නව යානය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙය මෙතෙක් නිපදවා ඇති විශිෂ්ටතම වාණිජ ගුවන් යානය බවයි.
ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වටිනා මෙම යානය කටාර් රාජ්‍යය විසින් අමෙරිකාවට ලබා දුන් කොන්දේසි විරහිත තිළිණයක් වන අතර, මෙහි ඇති වර්ණ රටාව (සුදු, රතු සහ නාවික නිල්) ට්‍රම්ප් මහතා මීට පෙර සිය පෞද්ගලික භාවිතය සඳහා යොදාගත් ජෙට් යානයට සමාන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මහත්මිය අවධාරණය කළේ, මෙය ජනාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික තිළිණයක් නොවන බවයි. මෙය සම්පූර්ණයෙන්ම අමෙරිකානු ගුවන් හමුදාව වෙත පිරිනැමුණු පරිත්‍යාගයක් බවත්, ඊට අදාළ සියලු නීතිමය සහ සදාචාරාත්මක අනුමැතීන් ලබාගෙන ඇති බවත් ඇය පැවසුවාය. යානය ප්‍රතිසංස්කරණය කිරීම සහ නඩත්තු කිරීමේ වගකීම අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබයි.
කෙසේ වෙතත්, මෙම තිළිණය ලැබීමත් සමඟම ඒ සම්බන්ධයෙන් විවිධ නීතිමය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු මතුව ඇති බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මූලාශ්‍රය: ANI (Asian News International)

